පුද්ගලික යාච්ඤා සහ දේවස්ථානයේ සිදු කරන යාච්ඤා යනුවෙන් යාච්ඤා වර්ග දෙකක් ඇත. සෑම ඕතඩොක්ස් කිතුනුවකු ම දිනපතා කියවන උදෑසන යාච්ඤාවල, අපෙන් සමුගත් ඥාතීන් උදෙසා දෙවියන් වහන්සේ වෙත සිදු කරන විශේෂ ආයාචනයක් ඇත. එහි දී අපි ඔවුනට ස්වර්ග රාජ්යය ලබා දෙන ලෙස ස්වාමීන්ගෙන් ඉල්ලා සිටිමු. කෙසේ නමුත් ඕනෑ ම යාච්ඤාවක් අවංක ව පවතින තාක් කල්, සර්ව දයාන්විත දෙවියන් වහන්සේට ආයාචනා කරන බැවින් පුද්ගලයෙකුට තමාගේ ම වචන භාවිත කරමින් ද මියගිය අය වෙනුවෙන් යාච්ඤා කළ හැකි ය.

දේවස්ථානයේ සිදු කරන යාච්ඤා සම්බන්ධයෙන් ගත් කළ, සභාව එක් විශාල පවුලක් වන හෙයින් ද, එහි පොදු යාච්ඤාවට සැබවින් ම විශාල බලයක් ඇති බැවින් ද, මිය ගිය අයට සහ ඔවුන්ගේ ඥාතීන්ට එහි වැදගත්කමින් කිසිදු අඩුවක් සිදු නොවේ.

දේවස්ථානයේ දී කෙනෙකුට අනාවැකිමය සහ අනුස්මරණ සේවය සඳහා සටහන් (මැදිහත්වීම් ලැයිස්තු) ඉදිරිපත් කළ හැකි ය. අනාවැකිමය සේවය යනු ඕතඩොක්ස් සභාවේ ප්රධාන මෙහෙය වන දේව මෙහෙයේ පළමු අංගය යි. ජීවත් ව සිටින සහ මිය ගිය අය ගැන සටහන් ඉදිරිපත් කළ අය සිහිපත් කිරීම සඳහා, ප්රොස්කොමීඩියාහි (සක්රමේන්තුව සඳහා රොටි සහ වයින් පිළියෙළ කිරීමේ) පූජකයෙකු විශේෂ පූජනීය ප්රොස්පෝරා රොටිවලින් කැබැල්ලක් ගන්නා අතර, සමිඳාණන් වහන්සේගේ රුධිරයෙන්, මිනිසුන්ගේ පව් සෝදා හරින ලෙස ස්වාමින් වහන්සේට යාච්ඤාවක් සිදු කරමින් හා උන්වහන්සේගේ ශ්රී රුධිරය අනුස්මරණය කරමින් පූජාව අවසානයේ, සියලු ම රොටි කැබලි කුසලානය අසල තබයි. තව ද, “සොරකෞස්ට් (sorokoust)” වැනි දෙයක් ද තිබේ, එහි වචනාර්ථය වනුයේ 'මුඛ හතළිහ' යන්නයි. එය අඛණ්ඩ ව දින හතළිහක් පුරාවට මියගිය අය සඳහා දේව මෙහෙයන් සිදු කරනු ලබන විශේෂ අනුස්මරණයකි. ප්රොස්කොමීඩියාහි හෝ සොරකෞස්ට්හි අනුස්මරණය අපගේ ආසන දෙව්මැදුර ඇතුලු ඕනෑ ම ඕතඩොක්ස් සභාවක හෝ දේවස්ථානයක සිදු කළ හැකි ය.

අනුස්මරණ සේවාවක් යනු පූජකවරයා සහ ඇදහිලිවන්තයන් මියගිය අයගේ පව්වලට සමාව දෙන ලෙස ඉල්ලා යාච්ඤා කරමින් දේවස්ථානයේ සිදු කරන දේව මෙහෙයකි.

පුද්ගලයෙකුගේ මරණයෙන් පසු තුන්වන, නවවන, හතළිස් වන දින, මරණයෙන් මාස හයකට පසු සහ මරණ සංවත්සරය මෙන් ම, උපන් දිනය සහ නම් තැබූ දින අනුස්මරණ උත්සවයක් පැවැත්වීම සිරිතකි. සත්ය වශයෙන් ම, පුද්ගලයෙකුට වෙනත් ඕනෑ ම දිනෙක අනුස්මරණ සේවයක දී, මියගිය අය සිහිපත් කළ හැකි ය. නමුදු, මිය ගිය අයට තවදුරටත් පශ්චාත්තාප වීමට හෝ දයාව ඉල්ලා සිටීමට නොහැකි බැවින් ඔවුන් වෙනුවෙන්, එය ඔවුන්ගේ ඥාතීන්ට සහ සභාවට සිදු කළ හැකි ය. එබැවින් දෙවියන් වහන්සේ ඉදිරියෙහි මිය ගිය අය උදෙසා වූ එවැනි උපකාර සහ මැදිහත් වීම කිසිවිටෙක අහිමි නොවිය යුතු ය.

නොඇදහිලිවන්තයන් වූ බෞතීස්ම නොලත් පුද්ගලයන් සඳහා පල්ලියේ යාච්ඤා සිදු කළ නොහැකි ය. පුද්ගලයෙකු ඔහුගේ ජීවිත කාලය තුළ සභාවේ සාමාජිකයෙකු නොවූයේ නම්, මරණින් පසු ව ද ඔහුගේ කැමැත්ත කඩ කළ නොහැකි ය. අපගේ ගැලවුම්කරු වන යේසුස් ක්රිස්තුස් වහන්සේ පවසන පරිදි, බෞතීස්ම වී උන්වහන්සේ විශ්වාස කරන අයට පමණක් ස්වර්ග රාජ්යය උරුම වනු ඇත. මේ අනුව, බෞතීස්ම නොවූ පුද්ගලයෙකු මරණින් පසු ස්වර්ගයට නොයනු ඇත. දිව්යමය ත්යාගය වූ ජීවිතය ස්වේච්ඡාවෙන් අත්හැර දැමූ කෙනෙකුට තවදුරටත් මෙම පාපයට පසුතැවිලි වීමට අවස්ථාවක් නොමැති නිසා සියදිවි නසාගත් අය වෙනුවෙන් දේවස්ථානයේ යාච්ඤා කිරීම ද කළ නොහැක්කකි. කෙසේ වෙතත්, එවැනි අවස්ථාවල දී පවා අපට මියගිය අයගේ ආත්මයේ දුක් වේදනා සමනය කළ හැකි ය. මිය ගිය ආදරණීයයන් වෙනුවෙන් ඕනෑ ම කෙනෙකුට ඔවුන්ගේ ම වචනවලින් දෙවියන් වහන්සේ වෙත යාච්ඤා කළ හැකි අතර, අවශ්ය නම්, ඔවුන් සිහිපත් කිරීම සඳහා යාච්ඤා කරමින් දේවස්ථානයේ ඉටිපන්දම් දල්වන්න. එසේ ම, මියගිය අය සිහිකර ඔවුන් උදෙසා දෙන දානය ඔවුන්ගේ ආත්මයට මහත් අස්වැසිල්ලක් ගෙන දෙන බවට ද සභාව සාක්ෂි දරයි.

මරණය යනු පුද්ගලයෙකුගේ භූමික පැවැත්ම අවසන් වී සදාකාලික ජීවිතය ආරම්භ වන සීමාවකි. ලෞකික ජීවිතය අපට ලබා දී ඇත්තේ දෙවියන් වහන්සේට සහ අසල්වැසියාට ප්රේම කරන්නේ කෙසේද, උන්වහන්සේගේ ආඥාවලට අනුව ජීවත් වන්නේ කෙසේද සහ ඔහු ව සොයන්නේ කෙසේද යන්න ඉගෙනීම සඳහා ය. මරණයෙන් පසු, මියගිය ආත්මයකට පසුතැවිලි වීම හෝ වැරදි නිවැරදි කිරීම කළ නොහැකි ය. එබැවින් අපගේ සදාකාලික ඉරණම රඳා පවතින්නේ පෘථිවියේ මැවුම්කරු විසින් අපට ලබා දී ඇති අපගේ කාලය කළමනාකරණය කරන ආකාරය මත ය.

මහලු විය, අසනීපය සහ මරණය මවනු ලැබූයේ දෙවියන් වහන්සේ විසින් නොවේ. මිනිසා මවන ලද්දේ දිව්යමය මහිමයේ ප්රීතිය සඳහා ද, ආදරණීය සහ පරිපූර්ණ පියෙකු සමග වූ සදාකාලික සහයෝගීතාවය ද සඳහා ය. නමුත් ආදම් සහ ඒවගේ පරිහානිය (එනම්, ඉතිහාසයේ මිනිසුන් දෙවියන් වහන්සේගේ කැමැත්තට එරෙහි ව ගිය පළමු තීරණය) මිනිස් ස්වභාවය කෙතරම් විකෘති කළේ ද යත්, පාපයෙන් පීඩා විඳි මිනිස්සු අසනීප වීමට, මහලු වීමට හා මිය යාමට පටන් ගත්හ.

එම පරිහානියෙන් පසු, දෙවියන් වහන්සේ මිනිසුන් ස්වර්ගයෙන් නෙරපා හැරියේ උන්වහන්සේ ඔවුන්ට ආදරය කිරීම නැවැත්වූ නිසා නොවේ. උන්වහන්සේගේ අසීමිත දයාවෙන්, මැවුම්කරු එම පිරිහුණු මිනිසා ඔහුගෙන් ඈත් කළේ, ඔහුගේ පරිපූර්ණත්වය හා ශුද්ධකමෙන් ඔහු ව පුළුස්සා දැමීම සඳහා නොව, සර්ව යහපත් දෙවියන් වහන්සේ සමීපයෙහි කිසිදු පාපයක් පැවතිය නොහැකි බැවිනි. නමුත්, තම පුත් යේසුස් ක්රිස්තුස් මාර්ගයෙන් කුරුසිය මත සිටිය දී සියලු මිනිස් පාපවලට සමාව දුන් දෙවියන් වහන්සේ, මිනිසාගේ නැවත නැගිටීම සහ මරණයෙන් පසු සදාකාල ජීවනය පිළිබඳ පොරොන්දුව මිනිසුන්ට ඉතිරි කළේ ය (එනම්, ස්වර්ග රාජ්යයේ දී මැවුම්කරු සමග ද, නැතහොත් ආදරයක්, සතුටක් හෝ ප්රමෝදයක් නැති ව දෙවියන් වහන්සේගෙන් දුරස් ව නැගිටුවන්නේ ද යන්න).

මරණයෙන් පසු මිනිසෙකුට සිදු වන්නේ කුමක්ද?

සෑම පුද්ගලයෙකුගේ ම, එනම් ඇදහිලිවන්තයෙකුගේ සහ නොඇදහිලිවන්තයෙකුගේ ආත්මයට මරණයෙන් පසු සිදුවන්නේ කුමක් ද යන්න ඕතඩොක්ස් සභාවේ සාන්තුවරයෝ සාක්ෂි දරති. අභාවප්රාප්ත වන මොහොතේ දී, ආත්මය ශරීරයෙන් ඉවත් වී පළමු දින තුන පෘථිවියේ දී, එහි පවුලේ අය සහ මිතුරන් අතර ගත කරන අතර, එයට අවශ්ය ඕනෑ ම තැනකට ගමන් කළ හැකි ය. නිදසුනක් වශයෙන්, පුද්ගලයෙකු ජීවිත කාලය තුළ සංචාරය කිරීමට කැමති ස්ථානවලට යා කළ හැකි අන්දමින් එයට අවශ්ය ඕනෑ ම තැනකට යයි.

මේ දිනවල දී ආත්මය පළමු වරට ශරීරයෙන් වෙන්වීම නිසා අතිශය පාළුවකින් සහ කැලඹීමකින් පවතින අතර ආත්මයට එය වඩාත් තියුණු ලෙස දැනෙන්නට පටන් ගනී. තව ද, එය පසුතැවිලි නොවූ පාපයන් සිහිපත් කරමින් දෙවියන් වහන්සේගේ විනිශ්චය පූර්වාපේක්ෂණයෙන් (අපේක්ෂාවෙන්) වෙව්ලයි. එමනිසා, මරණයෙන් පසු පළමු දින කිහිපය තුළ, ආත්මයට විශේෂයෙන් ම තම ආදරණීයයන් සහ ඥාතීන්ගේ යාච්ඤා සහය අවශ්ය වේ. එබැවින් මිය ගිය අයගේ මෙන් ම ඔවුන්ගේ ආත්මයේ සැනසීම, උදෙසා පරණ ගිවිසුමේ වඩාත් ප්රීතිමත් ම ග්රන්ථය වන ගීතාවලිය මිය ගිය අයගේ ශරීරය ආසන්නයේ කියවීමට උත්සාහ කරන්න.

සභාවේ සක්රමේන්තුවලට සහභාගී වී ක්රිස්තුස් වහන්සේ සෙවූ සහ උන්වහන්සේ බලාපොරොත්තු වූ ඕතඩොක්ස් ඇදහිලිවන්තයන් සඳහා සාමාන්යයෙන් මරණයෙන් පසු තුන්වන දින අවමංගල්ය මෙහෙයක් දේවස්ථානයේ දී පැවැත්විය යුතු ය. අවමංගල්ය මෙහෙයක් යනු පූජකවරයා සහ පැමිණ සිටින සියලු දෙනා මියගිය අයගේ පව්වලට සමාව ලබා දෙන ලෙසත්, මියගිය අයට ස්වර්ග රාජ්යය ලබා දෙන ලෙසත් යාච්ඤා කරන චාරිත්රයකි. අවමංගල්ය මෙහෙය මිය ගිය අයට සහ එම පුද්ගලයාගේ ඥාතීන්ට ඉතා වැදගත් වේ, මන්ද කිතුනුවකු සහභාගී වන අවසාන දේව මෙහෙය මෙය වන බැවිනි. මියගිය අයගේ ආත්මය අපගේ ලෝකයෙන් පිටවීමට පෙර යාච්ඤාවෙන් අවවාද කිරීමට එය කැඳවනු ලැබේ. අවමංගල්යයට පැමිණ සිටින ඥාතීන් මෙහි දී මියගිය අයගෙන් සමුගන්නා අතර ඔහු වෙනුවෙන් වූ පොදු යාච්ඤාවෙන් සනසනු ලැබේ.

මරණයෙන් පසු තුන්වන දින ආත්මය පෘථිවිය හැර ගොස් ස්වර්ගයට නැගී සිටින අතර, නවවන දිනය දක්වා දේවදූතයන් සමග ස්වර්ග රාජ්යය ගැන මෙනෙහි කරමින් පෘථිවියේ සිටිය දී ආත්මය බලාපොරොත්තු වූ සියලු ගුණධර්ම සියැසින් දකියි.

නවවන දින සිට හතළිස් වන දින දක්වා, ආත්මයට පව්කාරයන් වෙනුවෙන් සූදානම් කර ඇති නිරයේ වධහිංසා පෙන්වනු ලැබේ. මෙම අවස්ථාවේ දී, සාන්තුවරයන්ගේ සාක්ෂි වලට අනුව, ආත්මය එය පරීක්ෂා කරන වදවිභාගය හරහා ගමන් කරයි. දේවදූතයන්ට අමතර ව, නපුරු ආත්මයන් මිය ගිය අය වට කරගෙන සිටින අතර, පුද්ගලයෙකු ඔහුගේ ජීවිත කාලය තුළ සිදු කළ ඉතා කුඩා පාප පවා ඔවුහු මතකයේ තබා ගෙන සිටිති. පාපොච්චාරණයේ දී ඕතඩොක්ස් පූජකයෙකු විසින් සමාව දෙන ලද, එම පුද්ගලයාගේ සියලු පාපයන් සඳහා සමාව දෙනු ලබන නමුත්, පසුතැවිලි නොවූ පාප හේතුකොටගෙන නපුරු ආත්මයන් ඔවුන් සමග එම පුද්ගලයාගේ ආත්මය නිරයට ගෙන යාමට උත්සාහ කරයි. වදවිභාග කාලය තුළ, මෙම පුද්ගලයා ජීවිත කාලය තුළ සිදු කර ඇති සියලු යහපත් ක්රියාවන්, මැවුම්කරු උදෙසා සිදු කරන ලද යාච්ඤාවන්, අවංක පසුතැවිලි වීම් සහ දෙවියන් වහන්සේට කැප වූ ක්රියාවන් හා සම්බන්ධ දේවදූතයන්ගේ සාක්ෂි අමරණීය ආත්මයට බෙහෙවින් උපකාර කරයි. එමෙන් ම මෙලොව ජීවත් ව සිටින කිතුනු බැතිමතුන්ගේ, නෑදෑ හිතමිතුරන්ගේ යාච්ඤාවන්, දෙවියන්ගේ සභාවල මියගිය අය සිහිපත් කිරීම සහ එම පුද්ගලයාගේ ඥාතීන් ඔහු වෙනුවෙන් සිදු කරන දානමය පිංකම් යනාදිය මගින් ආත්මයට ඇදහිය නොහැකි සහනයක් ගෙන එයි.

වදවිභාගයෙන් පසු, අභාවප්රාප්ත වීමෙන් හතළිස් වන දින, ආත්මය මැවුම්කරු වෙතට නැගී පුද්ගලික විනිශ්චයක දී උන්වහන්සේ ඉදිරියෙහි පෙනී සිටියි. මෙදින, දෙවියන් වහන්සේ තීරණය කරන්නේ ආත්මය සාමාන්ය නැවත නැගිටීමට සහ අවසාන විනිශ්චයට පෙර කාලය ගත කරන්නේ කොතැනද යන්නයි: එනම්, සදාකාලික ප්රීතියට පෙර ස්වර්ග රාජ්යයේ ද, එසේ නොහොත්, දෙවියන් වහන්සේ නොමැති ව සදාකාලික පැවැත්ම අපේක්ෂාවෙන් සිටින නිරයෙහි ද යන්න යි. මරණයෙන් පසු හතළිස් වන දින, මිය ගිය අය වෙනුවෙන් විශේෂ ආකාරයකින්, බලවත් ලෙස යාච්ඤා කිරීම සභාවේ සිරිතකි. එම අවමංගල්ය මෙහෙයේ දී මියගිය පුද්ගලයා සිහිපත් කිරීමට වග බලා ගන්න, මන්ද මෙය පුද්ගලයෙකු දෙවියන් වහන්සේගේ ඉදිරියෙහි විනිශ්චයට පාත්ර වන දිනය වන බැවිනි. එබැවින් මෙදින ආත්මය උදෙසා වෙන කවරදාටත් වඩා ආදරණීයයන්ගේ යාච්ඤා සහාය අවශ්ය වේ.

Комментарии для сайта Cackle